සංවාද මණ්ඩපය - 1

" ඉතාම ඉක්මනින් මාධ්‍යයට නව කියවීමක් අවශ්‍යයි "


ආචාර්ය ටියුඩර් වීරසිංහ 




සමාජ තත්ත්වයක් ලෙස මේ දිනවල සමාජයේ පවතින දෙයක් තමයි මිනීමැරුම්, මංකොල්ලකෑම් ඇතුළු ප්‍රචණ්ඩකාරී සිදුවීම් සාහසික ලෙස මාධ්‍ය මගින් වාර්තාකරණය. මේ තත්ත්වය ගැන ඔබේ අදහස මොකක්ද?

ඕනෑම රටක, ඕනෑම ජන සමාජයක ගැටුම්කාරී තත්ත්ව සහ ගැටලු ඇති වෙන එක අතිශය සාමාන්‍ය සිදුවීමක්. ඒක ස්වාභාවික දෙයක්. සංවර්ධනය වෙමින් පවතින ගමනේදී ඒ වගේ තත්ත්වයන් ඇති විය හැකියි. සම්පූර්ණයෙන් ගැටුම්වලින් තොර ප්‍රචණ්ඩවලින් තොර සමාජයක් ගැන හිතන්න බැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ගැටුම්කාරී තත්ත්වයන් පැවතීම නෙමෙයි. ඒ තත්ත්වයන්ගේ විභවතා පවතිනවා.

නමුත් ඒවා උත්කර්ෂයට නංවන විවිධ කොන්දේසි සමාජ බලවේගයන්හි පවතිනවා. දේශපාලනය, මාධ්‍ය යන සාධක සමාජයේ විවිධ පරස්පරතා මත මේ සිදුවීම් උත්කර්ෂයට නංවනවා. වර්තමාන සමාජය තුළ මාධ්‍ය කියන භූමිකාව පුද්ගල මෙන්ම සමාජීය ක්ෂේත්‍රවලටත් ඉතා තීරණාත්මක සාධකයක් වෙලා තියනවා. ඒ වගේම යම් යම් ක්ෂේත්‍රවල විභවතා මතු කරලා ඒ තුළින් ගැටුම්කාරී තත්ත්වයන්ට යන්න මාධ්‍ය ඉඩ සලස්වලා තියෙනවා කියලා පේනවා.

මෑත කාලීනව සිදුවුණු සිදුවීම් රාශිය ගත්තාම මේ රටේ පවතින නව ලිබරල්වාදී වෙළෙඳපොළ තුළ සිදුවීම් වාර්තාකරණය සම්බන්ධයෙන් මාධ්‍යයේ ක්‍රියාත්මක වීම ප්‍රචණ්ඩකාරී වෙලා තියෙනවා. ලංකාවේ ගුවන්විදුලි නාළිකා, රූපවාහිනී නාළිකා, පුවත්පත් සිය ගණනක් තියෙනවා. ඊට පසුකාලීනව වර්ධනය වුණු නව මාධ්‍ය පවතිනවා. මේ මාධ්‍ය නම් වූ වෙළෙඳපොළ තුළ තියුණු තරගයක් පවතිනවා.

බහුතරයක් මාධ්‍යවල මූලික අරමුණ වෙලා තියෙන්නේ ලාභය. මාධ්‍යයේ ක්‍රියාකාරීත්වය මහජන සේවය වුවත් එය මෙහිදී ඔවුන් අදාළ කරගන්නේ නැහැ. වර්තමානයේ මාධ්‍ය භාවිතාව වෙළෙඳපොළ ක්‍රියාවක්. ඒ සඳහා වඩාත් ආකර්ෂණීය සිදුවීම්, සංකල්ප තියුණු තරගකාරීත්වය මත යුහුසුලුව ඉදිරිපත් කරනවා.

පසුගියදා පාසල් යන වයසේ දරුවන් දෙදෙනකු අතර වුණු රණ්ඩුවක් අවසන් වුණේ පිහි ඇනුමකින්. ඉන් එක් අයකු ඝාතනයට පත් වෙනවා. මෙවැනි මට්ටමකට වර්තමානයේ ළමා මනස විකෘති වෙලා තියෙනවා. විශ්වවිද්‍යාලය ආචාර්යවරයෙක් ලෙස ඔබ මේ තත්ත්වය දකින්නේ කොහොමද?

මානව සමාජයේ වර්ධනයත් එක්ක "ළමා" කියන මානසිකත්වය වියැකිලා තියෙනවා. මිනිස් ජීවිතයෙන් ළමා කාලය අහිමි වෙලා තියෙනවා. ළමයින්ට විතරක් නෙමෙයි තරුණයන්ටත් මේ ඛේදවාචකය අත්වෙලා තියෙනවා.

වත්මන් සමාජය විශාල ලෙස අති තරගකාරී ආර්ථික රටාව හමුවේ විකසනය වෙලා තියෙනවා. අධ්‍යාපනයත් ඒ තැනටම පත් වෙලා තියෙනවා. දෙමාපියෝ තරගකාරී සමාජ ධූරාවලියේ ඉදිරියට යන්න අධ්‍යාපනය එකම මාර්ගය කියලා හිතලා දරුවන්ව ඒ තරගකාරීත්වයට දානවා. ළමා මනස විකෘති වෙන්න හේතුවක් තමයි මාධ්‍ය. රූපවාහිනිය, පුවත්පත්, ගුවන්විදුලිය මෙහිදී විශේෂයෙන් බලපානවා.

සාම්ප්‍රදායික ජන සමාජයේ ආගම, අධ්‍යාපනය, සම්ප්‍රදාය, ආචාර ධර්ම තමයි දරුවන්ව ශික්ෂණය කළේ. වත්මන් මාධ්‍ය මේ කටයුත්ත භාරගත්තාට පසුව දරුවන්ගේ සදාචාරය, විලාසිතා, චින්තනය ආදී ප්‍රබලම සාධක මෙහෙයවන්නක් බවට මාධ්‍ය පත් වුණා. ඔවුන්ගේ අරමුණ සාම්ප්‍රදායික හර පද්ධති, පුර්ෂාර්ථ නෙමෙයි. ඔවුන්ගේ අරමුණ වෙළෙඳපොළ.

එහිදී බහුජාතික සමාගම් නිෂ්පාදනය කරන ටෙලිනාට්‍ය, කොමික් වීරත්වය සහිත කාටූන් ආදී ජනප්‍රිය වඩා ලාභදායී, සැහැල්ලු, ප්‍රාථමික රසයට ආමන්ත්‍රණය කරන වෙළෙඳපොළක් නිර්මාණය වෙලා තියෙනවා.

මේවා මගින් දරුවන් තුළ ගුණාංග ලෙස වර්ධනය වෙන්නේ මානවවාදය, සදාචාරය නෙමෙයි. කෲරත්වය, සාහසිකත්වය, ලිංගිකත්වය ආදීය. ඇත්තටම වෙලා තියෙන්නේ ළමයි නොමඟ ගිය එක නෙමෙයි. ඔවුන් සමාජීය කොන්දේසි අනුව ක්‍රියාත්මක වුණු එක. ඒකට ප්‍රබල ලෙස මාධ්‍ය බලපාලා තියෙනවා.

ඔබ කලින් පැවසූ ආකාරයට ඕනෙම ජන සමාජයක ඕනෑම කාලයක මෙවැනි සාහසික සිදුවීම් වෙලා තියෙනවා. නමුත් මේවා කැපී පෙනෙන ලෙස වර්ධනය වෙලා තියෙන්නේ මාධ්‍ය වාර්තාකරණය නිසාද?

ඔව්. සිදුවන සහ සිදුවෙමින් පවතින යම් යම් ගැටලුකාරී තත්ත්වවල වර්ධනයට මාධ්‍ය හේතුවක් වෙලා තියෙනවා කියලා දැනටමත් පර්යේෂණවලින් හෙළි වෙලා තියෙනවා. මනුස්ස සමාජයේ ගැටුම් පවතිනවා. ප්‍රචණ්ඩ ක්‍රියා සිදු වෙලා තියෙනවා. ඒවා සියල්ලම මිනිස්සු දන්නවා විවිධ ඓතිහාසික සිදුවීම් හරහා.

ඒවා ඉදිරිපත් කිරීමේ පරිමාවක්, රිද්මයක් සහ ස්වරූපයක් පවතිනවා. වර්තමානයේ මාධ්‍ය භාවිතාවේ ප්‍රධාන අරමුණ වෙළෙඳපොළ නිසා ඉන් සමාජයට සම්ප්‍රේෂණය වෙන්නේ කෲරත්වය, සාහසිකත්වය වගේ දේවල්. ජනගහනය වර්ධනය වීම වගේ ප්‍රවණතා හමුවේ මාධ්‍ය තමන්ගේ පැවැත්ම රැක ගැනීමට සිදුවීම් වාර්තා කිරීමේ සීඝ්‍රතාව, ස්වරූපය සහ ආකාරය වෙනස් ලෙස භාවිත කරනවා. එය ශ්‍රව්‍ය හා දෘශ්‍ය යන මාධ්‍ය දෙවර්ගයටම අදාළයි.

ඒ සිදුවීම් ඔස්සේ විශේෂාංග සහ යම් යම් සාහිත්‍ය නිර්මාණත් අපි දකිනවා. ඒ මගින් සිදුවෙන්නේ සමාජය තව තවත් සාපරාධීකරණයට ලක් කිරීම. එමඟින් මේ සිද්ධි අනුකරණයට සමාජය බලපානවා. ඒවා රසවිඳ නැවත නැවත මිනිස්සු ඒවා කරන්න උත්සාහ කරනවා.

මේ සිදුවීම් මිනිස්සුන්ගේ යටි විඥානයට ගෝචර වෙනවා. මේ සිදුවීම් වාර්තාකරණයේදී මාධ්‍ය ඉතා ප්‍රවේසම්කාරී වෙන්න ඕනේ. තමන් තොරතුරු සම්ප්‍රේෂණය කරන ආකාරය සදාචාරාත්මකද යන්න හිතන්න ඕනේ. මනුෂ්‍යත්වය ඉක්මවා යන හුදු ලාභය පමණක් හොයන දෙයක් බවට අද මාධ්‍ය පත් වෙලා තියෙනවා.

මේ තත්ත්වය හේතුකොට ගෙන අමුතුවෙන් පුනරුත්ථාපනය කරන්න සිද්ධ වෙලා තියෙන්නේ මාධ්‍ය නේද?

ඇත්තටම මෙතැනදී මාධ්‍ය හා සමාජය අතර සබඳතාව සංකීර්ණ වෙලා තියෙනවා. නව ලිබරල්වාදී ආර්ථිකය තුළ සමාජය විෂම වෙලා තියෙනවා. මේක සමනය කරන්න තියෙන මාධ්‍ය ඒ රැල්ලටම අහු වුණොත් ඒ තත්ත්වය දෙගුණ තෙගුණ වෙනවා. දැන් වෙලා තියෙන්නේ ඒක.

මාධ්‍ය කියන්නේ ලක්ෂ සංඛ්‍යාත මිනිස්සුන්ගේ විඥානයත් එක්ක කටයුතු කරන තැනක්. ඒ නිසා ඔවුන් සමාජයේ පොදු යහපත සඳහා කටයුතු කරන්න ඕනේ. මාධ්‍යයට නව කියවීමක් අවශ්‍යයි. මාධ්‍ය තුළින් සමාජ, දේශපාලන, සංස්කෘතික සහ සාමාජීය සිද්ධි වාර්තාකරණය සහ ඒ සිදුවීම්වලට යම්කිසි හැඩයක් ලබාදීම කරනවා. ඒ නිසා ඔවුන්ට විශාල වගකීමක් තියෙනවා ප්‍රගතිශීලී ලෙස මානවවාදී ලෙස ඒවා වාර්තා කරන්න. නමුත් වර්තමානයේ සමස්තයක් ලෙස මාධ්‍ය ඒකෙන් බැහැර වෙලා තියෙනවා.

සමහර මාධ්‍ය අපේක්ෂා කරනවා දේශපාලනික නිදහස. ඒ හා සමානවම සමාජයේ සාහසික සිද්ධි වාර්තාකරණය සම්බන්ධයෙන් කිසියම් ප්‍රමිතියක් හදන එක වගකීමක් නෙමෙයිද?

පසුගිය කාලේ ළමා අපචාර පිළිබඳව ජාතික ළමා රක්ෂණ අධිකාරිය විවිධ කෙටුම්පත් සකස් කළා. යම් යම් පුවත්පත් ආදී මාධ්‍ය ආයතනවලින් යම් ප්‍රමිති හදාගෙන තියෙනවා. ප්‍රමිතීන්වලින්, ප්‍රතිපත්තිවලින් අඩුවක් නැහැ. නමුත් මේවා ප්‍රායෝගිකව භාවිත කරන එක තමයි ගැටලුව වී තියෙන්නේ. මාධ්‍ය නිදහස තියෙනවා. මාධ්‍යට අමුතුවෙන් නිදහසක් අවශ්‍ය නැහැ.

මාධ්‍යට තියෙන්නේ සමාජයේ නිදහසම තමයි. මාධ්‍ය කියන්නේ සමාජ ආයතනයක්. ඒ නිසා සිදුවීම් වාර්තාකරණයේදී ප්‍රමිතියක් තියෙන්න ඕනේ. ඒක වාර්තා කිරීම කළ යුත්තේ පුද්ගල සහ ආයතනික අවශ්‍යතා අනුව නොවේ. පොදු මානවීය අවශ්‍යතා මත තමයි ඒවා වාර්තා කළ යුත්තේ. මොකද මේ සිදුවීම් වාර්තාකරණය මුළු මහත් සමාජයටම බලපානවා.

එහිදී මනුෂ්‍යත්වය, සංහිඳියාව, සහජීවනය කියන කාරණා ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මාධ්‍ය මේ සිදුවීම් වාර්තා කරන්නේ පවතිනවාට වඩා ව්‍යාජ ආකාරයකින්. එය විශාල ගැටලුවක් බවට පත් කරගෙන මායාකාරී පුවත් වාර්තා කරනවා.

ඒක සාහිත්‍යමය විශේෂාංග බවට පත් කරනවා. සිද්ධි ගෙනහැර දැක්වීමට වඩා අදාළ ස්වරූපයෙන් නොව වෙනස් සන්ධර්භයක් වාර්තා කරන්නේ. සිද්ධි නැවත නැවත වෙන්න පුළුවන්. සිද්ධි වාර්තා කරලා මාධ්‍යට ඉවරයක් වෙන්නේ නැහැ. නමුත් ඒක සාධනීය ලෙසයි වාර්තා කරන්න ඕනේ.

■  බොහෝ මාධ්‍ය, මාධ්‍ය ආචාර ධර්ම හිතුමනාපේ බිඳ දමනවා. මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න පුළුවන් කමක් නැද්ද?

මාධ්‍ය කියන්නේ සාමාජීය ආයතනයක්. ආචාර ධර්ම කියන්නේ නෛතික ප්‍රපන්චයක් නෙමෙයි. මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කළ හැකියි. ඒවාට දඬුවම් දෙන්න බැහැ. ක්‍රියාමාර්ග ගන්න බැහැ. "ප්‍රචණ්ඩත්වය, වාර්ගිකත්වය, සාහසිකත්වය උළුප්පන දේවල් වාර්තා නොකළ යුතුයි" කියන එක ආචාර ධර්මයක්.

නමුත් ඒක ඕනේම කෙනෙකුට උල්ලංඝනය කරන්න පුළුවන්. ඒකට නීතියක් නැහැ. බොහෝ යුරෝපීය රටවල එකී මාධ්‍ය ආචාර ධර්ම පද්ධතියක් හදලා තියෙනවා. මාධ්‍ය ඒවා උල්ලංඝනය කළොත් සිවිල් සමාජය විසින්ම ඒක නිෂ්ප්‍රභ කරනවා. ඒත් අපේ රටවල ඒ තත්ත්වය හදලා නැහැ.

සමාජීය සිද්ධි වාර්තාකරණය සඳහා පොදු නියාමන පද්ධතියක් විද්වතුන්, සිවිල් සමාජය, බලධාරීන් ඇතුළු සියලු පාර්ශ්ව එක් වෙලා සකස් කළ යුතුයි. මේ සියල්ල එක් වෙලා මාධ්‍ය ආචාර ධර්ම සම්බන්ධයෙන් කරන යම්කිසි සංකථිකාවතක් මේ මොහොතේ කාලීන අවශ්‍යතාවක් ලෙස මම දකිනවා.

( උපුටා ගන්නා ලද්දකි )
(http://www.resa.lk/විශේෂාංග/2018/nov/26 )

U.W.S.Udamahima

SC/MM/2015/2016/83

Comments

Post a Comment

Popular posts from this blog

තාරුණ්‍යය හා ජංගම දුරකථන

නව මාධ්‍ය යනු කුමක්ද ?

සන්නිවේදන යනු කුමක්ද ???