අපරාධටලට පොහොර දමන මාධ්‍ය



                     වර්තමානයේදී මාධ්‍ය මගින් හෙලි කරනු ලබන ප්‍රවෘත්ති අතර බාලාපචාර හා කාන්තා හිංසනය පිළිබඳ වාර්තා ඉස්මතු වී පෙනේ. පෙර කලාතුරකින් අසන්නට ලැබුණු මෙම වාර්තා අද වනවිට දිනපතා අසන්නට ලැබේ. කටේ කිරි සුවඳ පවා ඉවත් නොවුණු දරු දැරියන් දූෂණයට ලක් කිරීම සමහර වැඩිහිටියන්ගේ විනෝදාංශයක් බවට පත්වී තිබීම හද සසල කරවන ඛේදවාචකයකි.
අතීත සමාජයේ පේදුරුතුඩුවේ සිට දෙවුන්දරතුඩුව දක්වා අතිශය සුන්දර කාන්තාවකට වුවද රන්,රිදී,ආභරණ ආයිත්තම්වලින් සැරසී ගමන් කරන්නට හැකියාව තිබුණත් අද බස් රථයක හෝ දුම්රියක හෝ හිරිහැරයකින් තොරව ගමන් කිරීමට අවකාශයක් නැත. පුරුෂ පක්ෂය විසින් දරුණු ලෙස ස්ත්‍රී පක්ෂය හිංසාවට භාජනය කරනු ලැබීමද ක්‍රමයෙන් ඉහල යමින් පවතී. ස්ත්‍රී පක්ෂය පුරුෂාධිපත්‍ය හමුවේ මහත් සේ අසරණ වී සිටින්නීය. බාලාපචාර පිළිබඳ සොයා බැලීමේදී ඉන් බොහෝමයක් ඥාතීන් හා පවුලේ සමීපතම පිරිස් අතින් සිදුවූ ඛේදවාචකයන්ය. එසේම, දරුවන් ඇසුරු කරන පුද්ගලයන් හේතුවෙන්ද මෙම අපරාධ සිදුවීමට ඉඩකඩ වැඩිය. මත්පැන්,මත්කුඩු භාවිතයට ඇබ්බැහි වූ පුද්ගලයෝ මෙවන් අපරාධ සිදු කිරීමට විශේෂයෙන් පෙළඹෙති.

             තවත් කරුණක් ලෙස නූතන රියැලිටි වැඩසටහන් අතර කුඩා දරුවන් වෙනුවෙන් නිමවුණු වැඩසටහන් තුල හුරුබුහුටි ලෙස ඇඳ පැලඳගත් කුඩා දරුවන් නිරන්තර නෙත ගැටෙන්නට සැලැස්වීම තුලද පුද්ගලයන් තුල කාමාශාවන් මතු වීමට ඉඩකඩ සලසා දෙයි. කාර්යබහුල ජීවන රටාව තුළ, අද බොහෝ මව්පියන්ට තම දරුවන් මගහැරී තිබේ. එවන් අවස්ථාවලින් ප්‍රයෝජන ගන්නට දහසක් ඇස් බලා සිටින බව වටහා ගන්නට හැකියාවක් ඔවුන්ට නැත. සේයා,විද්‍යා,වර්ෂා වැනි අහිංසක මල් කැකුළු මෙවැනි ඛේදවාචකවලට ගොදුරු වූයේ කාගේත් දෙනෙත්වලට කඳුලක් ඉතිරි කරමිනි. කුඩා දරුවෙකුගෙන් හෝ තම නොසන්සිඳුනු ආශා සම්පූර්ණ කරගන්නට වෙර දරණ අධමයින් නිසා සමාජය පරිහානියට පත්ව තිබේ. මුලු මහත් සමාජයම කිසියම් ඇදවැටීමකට පත්ව ඇති සැටි විද්‍යමාන වේ. සමාජ ආකල්ප වෙනස මේ සඳහා ප්‍රධාන වශයෙන් බලපා තිබේ. මුදල් පසුපස හඹායන සමාජයක මිනිසාට මනුස්සකම නම් සාධකය අත්හැරී ඇත. චාම් ජීවිතය වෙනුවට පුහු ආටෝපවත් කෘතිම ජීවිතයකට හුරුවූ මිනිසාට අවැසි යහගුණ සියල්ල මග හැරී තිබේ.

                මව්පියන්ගේ නිසි අවධානය නිරන්තර දරුවන් කෙරෙහි යොමු කිරීමත්, රජය මගින් කාන්තා හා ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳවත් සැලකිලිමත් විය යුතුය. එසේම ලමා කාන්තා පිරිසට මේ දුර්දාන්ත සමාජ වටපිටාව පිළිබඳ අවබෝධයක් ලබා දිය  යුතුය.

                    මෙහිදී සමාජ ආකල්ප යහපත් දිශානතියකට වෙනස් කිරීම මාධ්‍ය  සතු ප්‍රධාන වගකීම උවත් එය එසේ නොවන බව අපිට වර්තමානයේ සමාජයේ දකින,ඇසෙන සිදුවීම් සනාථ කරයි .ඒ මගින් පෙනෙන්නේ මාධ්‍යයේ වගකීම ඔවුන් නිසිලෙස ඉටු කිරීමට සමත් නොවන බවය. නමුත් මාධ්‍ය තම වගකීම නිසිලෙස හදුනාගෙන කටයුතු කළ යුතු කාලය එළඹ වී ඇත.

U.W. S. Udamahima

SC MM/ 2015; 2016/ 83

Comments

Post a Comment

Popular posts from this blog

තාරුණ්‍යය හා ජංගම දුරකථන

නව මාධ්‍ය යනු කුමක්ද ?

සන්නිවේදන යනු කුමක්ද ???